අඳින්නට නොවේ හැඩ බලන්නට පමණයි

අඳින්නට නොවේ හැඩ බලන්නට පමණයි

ලොව විශාලතම මංගල ඇඳුම රා ත්තල් හාරසීයක් බර හා ඇවිදින විට බිම දිගේ ඇදෙන අඩි විස්සක් දිග සාය කොටසකින් යුතු, මුළුමනින්ම පබලුවලින් නිමැවුණු ලොව දැවැන්තම මංගල ඇඳුම නිර්මාණය කිරීමට ඇමෙරිකාවේ මිනේසෝටා ප්‍රාන්තයේ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක වන ගේල් බේ සමත්ව සිටියි. ලොව දස දෙසින් එකතු කර ගත් විවිධ වර්ණැති වීදුරු හා පළිඟු පබලු නවලක්ෂ අනූපන්දහසක් යොදා ගනිමින් ඇඳුම් මසන්නියන් විසි දෙදෙනෙකුගේ ආධාරය ඇතිව මෙම මංගල ඇඳුම නිම කිරීමට පනස් හත් හැවිරිදි ගේල්ට වසර තුනක් ගතව තිබේ. කාමරයක් මුළුමනින්ම ආවරණය කළ හැකි තරමේ විශාලත්වයකින් යුතු එහි බර හා විශාලත්වය නිසාම කෙතරම් සුන්දර වුවත් කිසිවෙකුට හෝ එය ඇඟලීමට හැකියාවක් නොලැබිම නම් කනගාටුවට කරුණකි.

විසිපස් වසරක කාලයක් තුළ පබලු ඇඳුම් නිර්මාණය කොට ඇති බේ ලොව දැවැන්තම පබලු ඇඳුම නිර්මාණය කිරීමේ අභියෝගාත්මක ව්‍යාපෘතිය එය අවසන් වන තුරුම ලෝකයට රහසක් ලෙස තබා ගැනීමට වගබලා ගත්තාය. ගිනස් වාර්තාවන්ට අනුව මංගල ඇඳුමකට භාවිත කොට ඇති වැඩිම පබලු සංඛ්‍යාව හතළිස්පන්දහස් විසි හතරක් වන අතර බේගේ ඇඳුම එම වාර්තාව බිඳ හෙළා තිබේ. පසුගිය දිනක සුප්‍රකට ‍පොප් ගායිකා ‍ලේඩි ගාගා අලුතින්ම එළිදැක්වූ සිය ගීත ඇල්බමයක කවරය සඳහා පෙනී සිටියේද බේ නිර්මාණය කළ පබලු හිස් ආවරණයක් පැළඳය.

එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් හතළිස්හත්දහස් පන්සියයක් වුවද කිසිදු මුදලක් අය නොකරම එය ‍ලේඩි ගාගාට කුලියට දීමට බේ පෙළඹී තිබුණේ ඉන් ඇගේ නිර්මාණයන්ට ලැබෙන ජනප්‍රියත්වය පිළිබඳව සලකාය.විලාසිතා නිර්මාණය සම්බන්ධයෙන් කිසිදු විධිමත් පුහුණුවක් ලබා නැති බේ, පුහුණුව ලැබූ අන් පිළිගත් විලාසිතා නිර්මාණකරුවන් මෙන් ඇඳුම් නිර්මාණයට පෙර එහි දළ සටහනක් ඇඳ ගන්නේ හෝ ඒ සඳහා ගණිතමය ගණනයන් සිදු කරන්නේ හෝ නැත. මුල් කාලයේදී මුදල් අපේක්ෂාවෙන් නිර්මාණය සිදු නොකළද සිය සැමියාගෙන් වෙන් වීමෙන් පසු මුහුණ දුන් ආර්ථික අපහසුතා හමුවේ වෙළෙඳ‍පොළ ඉලක්ක කර ගනිමින් නිර්මාණ කිරීමට බේට සිදුව තිබුණද තමා මුදල් පසුපස හඹා යන්නේ නැති බව ඇය අවධාරණය කරන්නීය.

බේ පබලු නිර්මාණ කලාව සමග පෙමින් බැඳුනේ මීට වසර තිහකට පෙර මිනේ‍පෝලිස් නගරයේ සිහිවටන අලෙවි සලකදී පබලු නිර්මාණ කලාව ගැන දැනගැනීමට ලැබිමෙන් පසුය. එවක් පටන් දිනකට පැය ගණනක් පබලු කලාවේ නිපුණයෙකු වීමට ගත කළ බේට වසර හතක් ඉන් ඈත්ව සිටීමට සිදුවිය. ඒ 1989 දී ඇය කෙරොටෝකෝනස් නැමැති ඇස් අන්ධවීමේ රෝගයට ගොදුරු වීමේ ප්‍රතිඵලයක් ලෙසය. අන්ධව සිටි එම කාලය ඇය ගත කළේ යළි පෙනීම ලැබූ විට නිර්මාණකරණයේ යෙදීමට පබලු එකතු කර තබා ගැනීමටය. එම බලා‍පොරොත්තු සඵල කරමින් 1996 දී සිදු කළ ශල්‍යකර්මයකින් පසු යළි පෙනීම ලබා තමාගේ ප්‍රියතම නිර්මාණ කාර්යයේ යෙදීමට බේ වාසනාවන්ත වූවාය.සිය අපූරු නිර්මාණය කෞතුකාගාරයක හෝ සිනමා පටයක හෝ ප්‍රදර්ශනය කරනු දැකීම බේගේ බලා‍පොරොත්තුවයි.

ප්‍රියන්ති රුද්‍රිගු
ලක්බිම පුවත්පත

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us