අන්තර්ජාලයේ වශී ගුරුකම් සෙල්ලම්


ස්‌ත්‍රී පුරුෂ වශී ගුරුකම්, විවාහය ප්‍රමාදයට විසඳුම්, සුරාව මත්පැන් නවතාලයි, ගෙවල් ඉඩම් ආරක්‍ෂාව, සියලුම විභාග ජය ගැනීම සහ රැකී රක්‍ෂා වරම් මෙලෙස පොරොන්දු ලබාදෙමින් ගුරුකම් මගින් වරු තුනෙන් ප්‍රතිඵල ලබාදෙන බව පවසමින් ඇතැම් පුද්ගලයන් පුවත්පත්, රූපවාහිනිය සහ අන්තර්ජාලය ඔස්‌සේ දැන්වීම් පළකර තිබෙනු අප කවුරුත් දැක ඇත. මෙම දැන්වීම් සඳහා ඇතැම් දෙනා ප්‍රතිචාර දක්‌වමින් අදාළ සේවාවන් ලබාගැනීමට කටයුතු කරති. ගිහි පුද්ගලයන් පමණක්‌ නොව චීවරධාරීහුද මෙවැනි ගුරුකම්වල යෙදෙති. ඔවුන් විසින් පළකරන දැන්වීම් සඳහා අනුග්‍රහය දක්‌වා ඇත්තේ තම සේවාවන් ලබා ප්‍රතිඵල අත්විඳි අය බවද එම දැන්වීම් අවසානයේ සඳහන් කර ඇත. සයිප්‍රසය, ඉතාලිය, සෞදි අරාබිය, ජපානය වැනි රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් මෙලෙස දැන්වීම් සඳහා අනුග්‍රහය දැක්‌වූ බව සඳහන් කර තිබේ. මේවායේ ඇත්ත කෙසේ වෙතත් බොරුව නම් ඉහටත් උඩින් යෑයි අපට පසක්‌ වූයේ මෙම දැන්වීම්වලට අනුව සේවාවන් ලබාගැනීමට ගොස්‌ රැවටුණු කාන්තාවන් කිහිපදෙනකු අප අමතා ඔවුන් ලද අත්දැකීම් පැවසූ විටදීය.

ඉතාලියේ පදිංචි එක්‌තරා කාන්තාවක්‌ චීවරධාරි වේශයෙන් පෙනී සිටින පුද්ගලයකු අන්තර්ජාලය ඔස්‌සේ පළකර තිබූ දැන්වීමකට අනුව තමාගේ සැමියාගේ බේබදුකම නතර කර ගැනීම සඳහා පිහිටක්‌ පතා ඇත. ඒ සඳහා ඇය එම චීවරධාරියා ලබාදුන් ගිණුම් අංකයකට පළමුව රුපියල් විසිදහසක්‌ තැන්පත් කර ඇත.

සැමියාගේ බේබදුකම නතර කිරීම සඳහා ලක්‍ෂ වාරයක්‌ ජප කළ යන්තරය ගුවන් මගින් භාණ්‌ඩ ප්‍රවාහනය කරන සේවාවක්‌ ඔස්‌සේ දින තුනක්‌ ඇතුළත එවන බව චීවරධාරියා මෙම කාන්තාවට දුරකථනය මගින් පොරොන්දුවී ඇත. දින තුන සති තුනක්‌ මාස තුනක්‌ ලෙස ගෙවුණද තවම එය ලැබී නැත. ඒ සම්බන්ධව අදාළ කාන්තාව විමසූ විට පවසා ඇත්තේ ඔය නෝනා දුන් ලිපිනයට මම එව්වා යෑයි කියාය. තමාට එය නොලැබුණු බව කාන්තාව පැවසූ විට චීවරධාරියා පවසා ඇත්තේ එසේනම් ඔබ දුන් ලිපිනය වැරදි ඇති බවය. තමා දුන් ලිපිනය නිවැරදි යෑයි පැවසූ විට චීවරධාරියා ඇයට පරුෂ වචනයෙන් බැනවැදී දුරකථනය විසන්ධි කළ බව ඊට මුහුණදුන් කාන්තාව පැවසුවාය. චීවරධාරියා එම පිළිතුර ලබාදෙන විට ඇය තුන්වාරයකදී රුපියල් ලක්‍ෂයක්‌ චීවරධාරියා ලබාදුන් ගිණුම් අංකයට බැරකර තිබේ.

සයිප්‍රසයේ පදිංචි කාන්තාවක්‌ මෙවැනි ගුරුකම් කරන්නකුගේ පිහිටෙන් තම පුතුගේ උසස්‌ පෙළ විභාගය සමත් කර ගැනීම සඳහා උත්සාහ කර ඇත. ඒ සම්බන්ධව ඇය අපට පැවසුවේ, මගේ ගම මාවනැල්ල, මම සයිප්‍රසයේ රැකියාවට ඇවිත් අවුරුදු දහයක්‌ වෙනවා. පුතා ගිය අවුරුද්දේ අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට පෙනී සිටියා. ළමයි තුන්දෙනා ඉන්නේ මහත්තයා එක්‌ක. මම පුතාගේ විභාගය සමත් කරගන්න අන්තර්ජාලය ඔස්‌සේ තිබූ ගුරුකම් දැන්වීමකට අදාළව අපේ ගම්පළාතේම ලිපිනයක්‌ තිබූ කෙනෙක්‌ට රුපියල් තිස්‌දාහක්‌ එව්වා. පුතාට විභාගයට යන්න පෙර කරේ පළඳින්න ලක්‍ෂ වාරයක්‌ මතුරනු ලැබූ සුරයක්‌ ගෙදරට යවනවා කියා මට පැවසුවා. හැබැයි යවලා තිබුණේ නැහැ. මම ඒ ගැන ඔහුගෙන් ඇහැව්වාම කිව්වේ ඒක යවලා තියෙන්නේ කියලා. නමුත් පුතාට ලැබිලා තිබුණේ නැහැ. ඊට පස්‌සේ මම මහත්තයාට කිව්වා අදාළ ලිපිනයට ගිහින් විමසා බලන්න කියලා. අන්තර්ජාලයේ තිබුණ ලිපිනයෙහි ඇත්තේ සිල්ලර කඩයක්‌. හැබැයි ඔහු පළකළ දැන්වීමේ ලස්‌සන දේවාලයක්‌, දේව රූප දෙකක්‌ තිබුණා. මම දැන් ඔහුගේ දුරකථනයට ඇමැතුම් ගන්නා විට ඔහු ඊට ප්‍රතිචාර දක්‌වන්නේ නැහැ.

මෙලෙස විදේශගතව සිටින කාන්තාවන් කිහිපදෙනකු රැකියා ලබාගැනීමට, සහකරුවකු සොයාගැනීමට මෙවැනි ගුරුකම් කරන්නන්ගෙන් පිහිට පතා ඇතත් සිදුව ඇත්තේ රැවටීම පමණකි. ඇත්තටම අපි හරි මෝඩයි... ඒත් ප්‍රශ්නවලට මුහුණදී ඉන්න කොට අපට ඒ ගැන හිතෙන්නේ නැහැ. කාගෙන් හෝ පිහිටක්‌ පතනවා. විශේෂයෙන්ම අපි මේ රටවල දහදුක්‌ විඳිමින් ජීවත්වෙන්නෙ. සමහරුන්ට රැකියා නැහැ. ඉතිං රැකියාවක්‌ ලබාගන්න ඕනෑම දෙයක්‌ කරන්න සමහරු යොමුවෙනවා. ඒ අතර මේ රටවල පදිංචිවෙලා ඉන්න අපේම ශ්‍රී ලාංකික කාන්තාවන් රැකියා ලබාදෙන බව පොරොන්දු වෙමින් යුරෝ දාහ, දෙදාහ (රුපියල් ලක්‍ෂයකට අධික මුqදලක්‌) අරගන්නවා. ඒ වගේ රැවටීම්වලට ලක්‌වෙච්ච කිහිපදෙනෙක්‌ම ඉතාලියේ ඉන්නවා. දැන් මෙහෙ රැකියාවල් අඩුයි. අපිට ආයෙත් ලංකාවට යන්නත් බැහැ. හලාවත ප්‍රදේශයේ සිට ඉතාලියට පැමිණ සිටින කාන්තාවක අපට සිය දුක්‌ගැනවිල්ල සඳහන් කළාය.

මෙම කාන්තාවන් පැවසූ ගුරුකම් කරන චීවරධාරීන් සහ කපුමහතුන් යෑයි කියා ගන්නා පුද්ගලයන්ට අපිදු සති කිහිපයක්‌ තිස්‌සේ ජංගම දුරකථන සහ ස්‌ථාවර දුරකථන ඔස්‌සේ ඇමැතුම් ගතිමු. එක්‌ චීවරධාරියකු දුන් බැංකු ගිණුම් අංකය අයත් වන්නේ එම චීවරධාරියා පළකර ඇති දැන්වීමේ ඇති නමට නොව ගිහියකුගේ නමටය.

කපු මහතකු පැවසුවේ උපදෙස්‌ දෙන්න පෙර රුපියල් පන්දහසක්‌ තම ගිණුමට බැර කරන ලෙසය. පවුලේ අයකු විදේශගතව සිටිනවා යෑයි කියූ පමණින් සහ යුරෝපා රටක සිටිනවා යෑයි කියූ සැනෙකින් අයකරන මුදල දෙගුණ වේ. ඒ බව අප දැනගත්තේ එකම කපු මහතාට ලංකාවේ පදිංචිව සිටින අයෙක්‌ ලෙස පවසමින් සහ විදේශ ගතව සිටින අයෙක්‌ ලෙස පවසමින් පිහිට පතන්නකු ලෙස කථා බහ කළ විටදීය.

යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් වල කිසිදු සත්‍යයක්‌ නැතැයි කියා අපි තර්ක නොකරන්නෙමු. නමුත් එය විකුණමින් දුකට කරදරයට පත්වූ පුද්ගලයන් රවටා මුදල් ගැනීම වස්‌ වදින සහ හෙණ ගහනා අපරාධයක්‌ බව නම් නොකියාම බැරිය.

උපාලි ද සේරම්

Post a Comment

0 Comments